Homo Cultural!
ආතර් සී ක්ලාර්ක් විසින් රචිත ස්ටැන්ලි කුබි්රරික් විසින් අධ්යක්ෂණය කරන ලද 2001:Space Odyssey චිත්රපටයේ මෙවැනි එක් ජවනිකාවක් වෙයි.
“උදෑසන පතිත වන සූර්යාලෝකයේ පහස ලබන ගල් තලාවක් මත කෙළිදෙලෙන් ගත කරන වානර රංචුවකි. ඔවුනගේ ප්රීතිමත් නිදහස් හැසිරීම තුළම ඉතා විශාල යමක් සිදුවීමට නියමිත බව ඇඟවුම් කරන පසුබිම් සංගීතය නැග එයි. කෙළිදෙලෙන් සිටින එක් වානරයකුට අහම්බෙන් ගල්තලාව මත තිබූ දිරාගිය තරමක් විශාල සිවුපාවෙකුගේ ඇටසැකිල්ලක් ඇස ගැටේ. වානරයා ඇටසැකිල්ලේ ඇටකටු නිදහසේ අතපත ගායි. එහෙ මෙහෙ කරයි. පසුබිම් සංගීතය එන්න එන්නම නැග එයි. මියගිය සතාගේ කකුලක වැඩුණු අස්ථියක් යයි සිතිය හැකි අස්ථි කැබැල්ලක් වානරයාගේ ඉදිරි ගාතයක අත්ලට හුරුබුහුටිව අසුවේ. අස්ථි කැබැල්ල සමග හුරුබුහුටිව ක්රීඩා කිරීමේදී තම අත ඇති ශක්තිමත් අස්ථියේ වැදී සතාගේ කුඩා අස්ථි කොටස් කැඩී බිඳී යනු වානරයාට පෙනේ. ඔහු ඉන් ප්රමුදිත වෙයි. තම අස්ථි කැබැල්ලෙන් වැරෙන් පහරදුන් විට සතාගේ ඇටකටු කැබලිවලට විසි වී යනු අත්දකින ඔහු තවතවත් ප්රමුදිත වෙයි. තවත් වැරෙන් සතාගේ හිස් කබලට පහර දෙයි. විශ්වයේ මහා පිපුරුම සිදුවීමට නිමේෂයකට කලින් බව ඇඟවීමට මෙන් පසුබිම් සංගීතය නැග එයි. හිස් කබල කුඩු පට්ටම් වී යයි. වානරයා උපරිම ප්රමුදිතභාවයට පත්වෙයි. තමාට හා තම වර්ගයාට මීට පෙර ලෙහෙසියෙන් මරා ගැනීමට නොහැකිව තිබූ මෙවන් සිවුපාවෙකු මෙම අස්ථිය මගින් මරා ගන්නා අයුරු ඔහුගේ මනසේ ඇඳෙයි. මහා පිපුරුම සිදුවෙයි!”
මෙම කෘතිය රචනාකිරීමට හා චිත්රපටය නිපදවීමට දශක ගණනාවකට පෙර ලියොන් ට්රොට්ස්කි මෙසේ ලිවීය.
“වානරයා සත්ව රාජධානියෙන් වෙන්වී මිනිසා බවට පත්වූයේ, වානරයා පළමු ඇට කැබැල්ලෙන් ගසා තවත් ඇට කැබැල්ලක් බිඳදැමු මොහොතේය.”
එම අස්ථි පහර මහා පිපුරුමට වඩා බලවත් පහරක් බව අපි සියලු දෙනා දනිමු. සතුන් අතරින් මිනිසා බිහිවීම තරම් විශිෂ්ට අන්යමක් වේද? නැත. එසේ බිහිවු මිනිසා වසර මිලියන දෙකක් තිස්සේ දිගු දුර ගෙවා ගොස් පැමිණ තිබේ. ඔහු හා ඇය පූර්ව මානව කල්ප වානරයාගෙන් බිහිවී හෝමෝ හැබිලස්, හෝමෝ ඉරෙක්ටස්, හෝමෝ සේපියන් හා හොමෝ සේපියන් සේපියන් ලෙස රූපාන්තරණය වෙමින් අද දක්වා පැමිණ සිටියි. ගල් තලාව තුළදී නිමවුණු පළමු යන්ත්රය වූ ඇට කැබැල්ල අදින් මසකට කලින් අඟහරු මතද, දින කිහිපයකට කලින් සඳෙහි මිනිසා කිසිදා නොදුටු ආවාටයකටද ගොඩ බැස්සේය. මහා පිපුරුමට පසු බිහිවූ ඔහු විසින් මහා පිපිරුමේ ගුරුත්ව තරංගයන් අල්ලාගෙන මහා පිපුරුමට පණිවුඩයක් පවා යවා තිබේ. ඔහුගේ හා ඇයගේ හැකියාවන් මහා පිපුරුමට එහා ගිය යෝධ එකක් බව ඔප්පුවී තිබේ.
මිනිසා සිය ප්රථම උපකරණයවූ අස්ථි කැබැල්ල යොදා ගන්නවාත් සමග තවත් මහා පිපුරුමක් සිදුවූයේය. ඒ වසර මිලියන 4500ක් පැරණි පෘථිවිය තුළ ප්රථම වරට සංස්කෘතිය නිර්මාණය වීමද ඇරඹෙයි. එම නිසා වානරයා මෙන් නොව මිනිසා හැඳින්වීමට ජීව විද්යාත්මක නාමයන් පමණක් ප්රමාණවත් නොවිණි. ඔහු/ඇය සංස්කෘතික මිනිසා නම් වූයේ එහෙයිනි.
මිනිසාගේ උපකරණ අඟහරු මත ඡායාරූප ගනිද්දී ඔහු හා ඇය කුමක් කරන්නේද? අප රටේ මෙන්ම බොහෝ රටවලද ඔවුහු එකිනෙකා හා ගහමරා ගනිති: වර්ග, ජාති, ආගම් අනුව වෛර කර ගනිති. ඔහු සමගම වසර මිලියන 2ක් එකට ගමන් කළ “ඇයව” පීඩාවට පත්කරයි. මෑතකදී මුහුණු පොතේ පළවූ සරල සිදුවීම් කිහිපයකට අවධානය යොමු කරමු. එකක් නම් බෞද්ධයාගේ මුදුන් මල්කඩ යැයි සැලකෙන සමනල කන්දෙන් ගලා බසින ගංඟාවල ප්ලාස්ටික්, පොලිතින් පිරී තිබෙන ඡායාරූපයයි. ඔහු නල්ලූර් වැඳ එතැන අපිරිසිදු කර එයි. ඔහු බසයට කෝච්චියට නැගීමට පෝලිම කඩයි. මාර්ගයේ ගමන්කරද්දී මාර්ග නීති මායිම් නොකරයි. උත්සවවලදී විනෝද වෙනවා වෙනුවට එය මත්පැන් දන්සැලක් ලෙස සලකා බී එතැන ගැටුම් ඇතිකර ගනියි. අල්ලස් ගනියි. බොරු කියයි. තම රාජකාරිය ඉටු නොකර එය මඟහැර අලස ලෙස කටයුතු කරයි. කිසිදෙයක් පිළිවෙළට වගකීමකින් නොකරයි. තමා ළඟට එන සිය පංතියේම පුරවැසියා ප්රවේණි දාසයෙක් සේ සලකා කොන්කරයි. වෙලාවට වැඩක් නොකරයි. ප්රමාද වෙයි. විවාහයකදී කුලයද, ආගමද, දෑවැද්ද බලයි. විවාහ දින රාත්රියේදී කාන්තාවගේ පතිවත “විද්යානුකූල” සාක්ෂි මගින් නිගමනය කිරීමට උත්සුක වෙයි. තව ලිවිය හැක…
සැබැවින්ම ඔහුට කුමක් සිදුවීද? අඟහරු මත ඡායාරූප ගන්නා යානය සෑදුවේ ඔහුම දැයි සැක සිතේ. පපුව දෙපළු කර හදවත කපා කොටන්නේ නැතිව කලවේ නහරයක් දිගේ තීන්ත තුළ පාකර යවා හදවතේ සිරවූ කපොලු තුළ Stent ස්ථාන ගත කරන්නේ ඔහුම දැයි කිසිවිටෙක සිතාගත හැකිද?
ඔහුගේ යන්ත්ර විශ්වය තරණය කරද්දී ඔහු ගල් තලාවේ සිටින වානරයා මෙන් හැසිරෙන්නේ ඇයිද යන ප්රශ්නය ලොව පුරා තිබෙන ගැටලුවක් වී තිබේ. එය අපේ දූපතේ විශාල සාකච්ඡාවක් ඇතිකර තිබේ. සංස්කෘතික මිනිසා වෙනුවට අසංස්කෘතික මිනිසෙකුගේ හැසිරීම්, ක්රියා නිසා සමාජය තුළ ඉමහත් ගැටලු ඇතිවී තිබේ. මෙම අසංස්කෘතික මිනිස් භාවිතය වෙනස් කළ හැක්කේ කෙසේද? ජපානයේ දුම්රියවලට විධිමත්ව එකා පසුපස පෙළ ගැසී සිට නගින වැඩකරන පංතියම, ඉන්දියාවේදී, ලංකාවේදී එසේ නොකරන්නේ ඇයි? උදේ 9.00ට එන්නැයි කිවහොත් 9.00ට එන යුරෝපයේ, එක්සත් ජනපදයේ හා ජපානයේ මිලියන 1000ක ජනයාට සාපේක්ෂව ලංකාවේ, ඉන්දියාවේ හා බ්රසිලයේ මිලියන 1500ක් ජනයා 9.00ට කිව්වොත් 10.30ට එන්නේ ඇයි? එයට සවිස්තරාත්මක පිළිතුරක් සැපයීමට මේ ඉඩකඩ මද නමුත් ලංකාවේ, ඉන්දියාවේ, බ්රසීලයේ ජනයා යුරෝපයට ගිය විට පළමු මාස කිහිපය තුළදීම 9.00ට කිවහොත් 9.00ට එන්න පුරුදු වන බවත්, දුම්රියට පෝලිමේ සිට නගින බවත් අපි දකිමු. ඒ නිසා දියුණු ධනපති රටවල මිනිසුන්ගේ සාපේක්ෂ සංස්කෘතික බව හුදු ජානමය විශේෂත්වයක් නොව එම ධනපති රටවල ආර්ථික සංවර්ධනය හා බැඳී පවතින්නක් බව තේරුම් ගත හැකිය. නිෂ්පාදන බලවේගවල සංවර්ධනය, මිනිසා සංස්කෘතික කිරීමේ පදනම සකසයි.
දියුණු ආර්ථිකයක් ඇති ධනපති රටවල මිනිසා සංස්කෘතික වීම අප රටවලට සාපේක්ෂව පොදු සත්යයක් වුවද දියුණු ධනපති රටවලද ජීවිතයේ බොහෝ කරුණුවල මෙම අසංස්කෘතික බව තදින් පවතී. එය තුළ ජාතිවාදය, ආගම්වාදය, ස්ත්රී පීඩනය, ආත්මාර්ථය, අධි පරිභෝජනය, අල්ලස් ගැනීම ආදී මේ සියල්ලම පවතී. යුරෝපයේ හා එක්සත් ජනපදයේ මේ තත්වය නරක අතට පරිවර්තනය වෙමින්ද පවතී. ස්ත්රි දූෂණ වැඩිවීම නිසා රාත්රි 8න් පසු කාන්තාවන්ට තනියම ගමන් නොකරන්නැයි ස්වීඩන් පොලිස් ප්රධානියෙකු ප්රකාශ කර මාස කිහිපයකට වඩා නැත.
එතනදී නැවතත් අපට ප්රශ්නය මුණගැසේ. මිනිසා සංස්කෘතික කිරීම “හුදු” ආර්ථික සංවර්ධනයට පමණක් කළ නොහැකි බවයි. මිනිසා සංස්කෘතික කිරීම සරල තලයක කටයුත්තක් නොවේ. එය පුළුල් මහජන සහභාගිත්වයෙන්, මැදිහත්වීමෙන් රාජ්යයේ ඍජු සහායෙන් සිදුකළ යුත්තකි.
වර්තමානයේදී සැබැවින්ම ධනේශ්වර ක්රමය තුළ සිදුවන්නේ මිනිසාට අධ්යාපනය, රසවින්දනය, දැනුම, විනය, පුහුණුව හා හැකියාවන් ද ලබාදීම සඳහා යොදාගත හැකි සියලු ආයතන, යන්ත්ර සූත්ර හා උපකරණ හා මනාව සම්පත් පවා මිනිසා ‘මොට්ට’ කිරීම සඳහා මිනිසා අසංස්කෘතික කිරීමේ නියත අභිලාෂයෙන් දැනුවත්ව ධනපති රාජ්යය හා ප්රාග්ධනය
විසින් යොදාගනු ලැබීමයි. උදාහරණයක් ලෙස පොදු ජනතාවගේ සංස්කෘතික මට්ටම ඉහළ දැමීමට යොදාගත හැකි රූපවාහිනිය ලංකාවේ මසකට පැයක් විද්යාත්මක චින්තනය ඉහළ දැමීමට යොදා නොගන්නා
නමුත් සෑම දිනකම නාළිකා 7ක පැය බැගින් සාස්තර කීමට වෙන්කිරීම පෙන්වා දිය හැකිය. ලෝක පරිමාණයෙන් ගත්තද සිදුවන්නේ එයයි.
එම නිසා සංස්කෘතික මිනිසෙක් නිමවීම පොදු මහජන මැදිහත්වීමක හා සමාජවාදී රාජ්යයක අරමුණු සහිත ක්රියාකාරිත්වයකින් සිදු කළ යුතු යෝධ සමාජ ඉංජිනේරුමය ව්යාපාරයකි. විප්ලවය ජයග්රහණය කිරීමෙන් පසු ලෙනින් මෙසේ ලිවීය.
“සමාජවාදය පිළිබඳ අපගේ මුළු මහත් දෘෂ්ටියෙහිම පෙරළිකාරී හැඩගැස්මක් ඇති ව තිබෙන බව අප පිළිගත යුතුය. පෙරළිකාරී හැඩගැසීම
මෙයයි. පූර්වයෙන් අපි ප්රධාන අවධාරණය දේශපාලනික අරගලය, විප්ලවය, දේශපාලනික බලය දිනා ගැනුම යනාදිය මත පිහිටුවාලූයෙමු. අපට එසේ කිරීමට සිදු විය. දැන් එම අවධාරණය වෙනස් වෙමින් සාමකාමී හා සංවිධානාත්මක, ‘සංස්කෘතික’ කටයුතුවලට මාරු වෙමු.”
මෙවර Left වෙන්වී ඇත්තේ, හෝමෝ සේපියන් සේපියන්ස් සංස්කෘතික මිනිසෙකු ලෙස ගොඩ නැගීමට ධනවාදය පසුගිය වසර 150 තුළ අසමත්වී ඇති බව පෙන්වාදීමටය; එමෙන්ම හෝමෝ සේපියන් සේපියන්ගෙන් පසු ඔහුගේ හා ඇයගේ අනාගත පුරුක නිමවීම සහමුලින්ම සමාජවාදය සතු කාර්යයක් බව පෙන්වා දීමටය. ඔහුට අපි Homo Cultural (හෝමෝ කල්චරල්) යයි දේශපාලනිකව නම් තබමු.
Left – Homo Cultural බිහිවීම උදෙසා ආර්ථිකයේ, විද්යාවේ, කලාවේ ගර්භාෂය පුළුල් කිරීමට වෙර දරන ඓන්ද්රීය උගතුන් වෙනුවෙනි.
Left – Homo Culturalගේ ගුණාංග මේ යයි පෙන්වමින් මේ යුගය තුළම දුලභ ආදර්ශ ලෙස ජීවත් වන සංවේදී සංස්කෘතික මිනිසුන් හා ගැහැනුන් වෙනුවෙනි.
Left – Homo Culturalගේ උපත වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙමින් වින්නඹු කර්තව්යයට සියල්ල සූදානම් කරන විප්ලවවාදීන් වෙනුවෙනි!