මෙවර Left කලාපය වෙන්වී ඇත්තේ, ලංකාවේ වංචා හා දූෂණ පිළිබඳව කෙරෙන සංවාදයක් වෙනුවෙනි. ලංකාව තුළ මෙම සංවාදය වඩාත් වැඩියෙන් මතුවූයේ, පසුගිය රාජපක්ෂ පාලනය තුළ සිදුවූ මහා පරිමාණ මූල්ය වංචා හා දූෂණ නිසාත් එම පාලනය පෙරළා දැමීමේ සටනේ ප්රධාන සටන් පාඨයක් බවට වංචා හා දූෂණ අවසන් කිරීම පත්වූ නිසාත්ය.
එහෙත් රාජපක්ෂ පාලනය නිමාවුවද ලංකාවේ වංචා දූෂණ නිමාවී නැත. එකල සිදුවූ වංචා දූෂණ පිළිබඳ කෙරෙන පරීක්ෂණ පවා සිදුවන්නේ නව පාලනයේ බාධා මැද ඉතා මන්දගාමීවය. මෙය වංචා දූෂණවලට එරෙහි සටනට පැමිණි, ඒවා මතුපිටින් තේරුම්ගත් අයගේ සිත් කලකිරවීමටද හේතුවී ඇත. වංචා දූෂණ පිළිබඳව, එහි හේතු හා ඒවා පැවතීමේ සැබෑ සාධක පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්යවන්නේ ඒ නිසාය.
වත්මන් සමාජයේ බොහෝදෙනා වංචා දූෂණ දකින්නේ පුද්ගලයන්ගේ වරදක් ලෙසය. නරක පුද්ගලයන්ගේ නරක සිත්වලින් උපන් දෙයක් ලෙසය. එහෙත් ඓතිහාසික සත්යය නම්, එය එසේ නොවන බවය. වංචා දූෂණ යනු වත්මන් ධනපති ක්රමය තුළ ඉන් වෙන්කළ නොහැකි ලෙස බැඳී ඇති දෙයකි. එය ධනවාදයේ උපන් ගතියකි. ජාති ලක්ෂණයකි. ධනවාදයේ කේන්ද්රයේ දියුණු රටවලදී සැඟවීත් ධනවාදයේ පරිධියේ පසුගාමී හා නොදියුණු රටවලදී එළිපිටත් මෙය පවතී. එබැවින් ධනවාදය මෙලෙස පවතිද්දී වංචා දූෂණවලට එරෙහි ‘හොඳ’ මිනිසුන්ගේ මැදිහත් වීමකින් ධනවාදය තුළින් වංචා දූෂණ අතුගා දැමිය හැකි යැයි සිතීම මනෝරාජිකය. ඉන් අදහස් වන්නේ ධනවාදය තුළ ඊට එරෙහිව අරගලයක් නොකළ යුතු බව නොවේ. එවැනි අරගලයකින් මෙම ඛේදවාචකය තරමක් පාලනය කළ හැකි බව ඇත්තය. එහෙත් එය අහෝසි කළ නොහැක. ඒ සඳහා වංචා දූෂණවලට උපත දෙන හේතුද සමගින් ධනවාදය සමාජ ක්රමයක් ලෙස වෙනස් කළ යුතුය.
‘වංචා දූෂණවලින් තොර ලෝකයක්’ බලය ගැනීමේ සටන් පාඨයක් ලෙස නොව එය සමාජය මත යථාර්ථයක් කිරීමේ අවංක වුවමනාව ඇති අය පළමුව ධනවාදය තුළ එය ඉටුකළ හැකිය යන මිත්යාවෙන් මිදිය යුතුය. ඒ වෙනුවට මිනිසුන්ට වංචා දූෂණවල යෙදීමට අවශ්ය නොවන, හැම වර්ගයේම හොරකම් අවශ්ය නොවන සමාජයක් නිර්මාණය කළ යුතුය. ‘සැමගෙන් ඔහුගේ හැකියාවට අනුව, සැමට ඔහුගේ අවශ්යතාවයට අනුව’ යන තේමාව කි්රයාවට නගන කොමියුනිස්ට් සමාජයක් තුළ වංචා දූෂණ මුළුමනින්ම අහෝසි වනු ඇත. එයට පිවිසෙන මඟ වන්නේ සමාජවාදයයි. එබැවින් අපේ යුගයේ වංචා දූෂණවලට සැබෑ ලෙසම එරෙහි වන අය අත්වැල් බැඳගත යුත්තේ, රැුවටිලිකාර ධනපති පංති කණ්ඩායම් සමග නොව සමාජවාදය වෙනුවෙන් කරන අරගලය සමඟය. Left ගොඩ නඟන මෙම සංවාදය ඒ වෙනුවෙන් සටන් වදින මිනිසුන්ට අවියක් වනු පිණිසය.
